වේවැල්දූවේ ඥානප‍්‍රභා හිමියන් ඉතිහාසයේ ප‍්‍රථම පැවිදි නගර සභාපති ධූරයට පත්වෙයි

වේවැල්දූවේ ඥානප‍්‍රභා හිමියන්

     වසර ගණනාවකට පෙර ප‍්‍රාදේශීය සභාවක්ව පැවති ඇඹිලිපිටිය නගර සභාවක් බවට පත්ව දෙවන වරට මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේදී එහි මුල් පුටුවට භික්‍ෂුන් වහන්සේ නමක් පත්කරගැනීම ඉතිහාසයේ පළමු වරට සිදුවන්නකි. ඉතිහාසයේ පළමු වරට නගර සභාවක සභාපති ධූරයක් සඳහා තේරීපත්වන ෙඓතිහාසික හිමි නම වේවැල්දූවේ උපන් හිමිනමක් වීම වේවැල්දූවේ අපට අතිශයින් සුවිශේෂී වන්නේය.

    කැලණිය, වේවැල්දූව අංක 20 රණසිංහ පවුලට උපන් ඔහුට සොහොයුරන් තිදෙනකු හා සොහොයුරියන් දෙදෙනෙකු වන්නේය. පාසල් තුනකින් මූලික අධ්‍යාපනය ලබමින් මත්තුමගල කරුණාරත්න බෞද්ධ පාසලෙන් සාමාන්‍ය පෙළ හදාරා ශාසනයට ඇතුළු වීමට කටයුතු කර ඇත. කැලණිය, වේවැල්දූව ශ‍්‍රී ඤාණවිමලාරාම විහරස්ථ දහම් පාසලේ කීර්තිමත් ශිෂ්‍යයෙකු ලෙස හැදී වැඩුණු මෙම කුල දරුවා ශිෂ්‍ය නායකයෙකු හා නිවාස නායකයෙකු ලෙස තම නායකත්ව කූසලතාවයේ අඩිතාලම සකසාගත්හ.

    එවකට ශ‍්‍රී ඤාණවිමලාරාමාධිපතිව වැඩවිසූ, මැතකදී අපවත්වී වදාළ උයන්වත්තේ ඥානාලෝක හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම යටතේ පැවිදිව 1988 වසරේදී උපසම්පදාව ලබාගැනීමට උන්වහන්සේට හැකි විය. මරදාන ශ‍්‍රී ලංකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගැනීමෙන් පසුව උන්වහන්සේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදන හා සමාජ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාවක් හමාර කරන්නේය.

    මෙසේ තම නායකත්ව පෞරුෂය ගොඩනගා ගන්නා අතර තමන් වැඩවාසය කළ විහාරස්ථානයට මෙන්ම ගමට හා ශාසනයට විශාල මෙහෙවරක් සිදුකරන උන්වහන්සේ සුනාමි ව්‍යසනයෙන් පසුව  ඕමල්පේ සෝභිත හිමියන් සුනාමි ව්‍යාපෘති සඳහා ඇඹිලිපිටියට ගෙන්වාගැනීමෙන් පසුව ඇඹිලිපිටිය බෝධිරාජ දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය ධූරයට පත්වන්නේය.

    ජාතික හෙළ උරුමය යටතේ ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදුණ උන්වහන්සේගේ සේවය අගයමින් ප‍්‍රදේශයේ හිමිවරුන්ගේ හා ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම මත මෙවර නගර සභාවට තරඟ කළ උන්වහන්සේ මනාප 5895 ක් ලබාගනිමින් ප‍්‍රදේශයේ වැඩිම මනාප හිමි කරගැනීමට සමත් විය.

    නමුත් භික්‍ෂුවක් වූ බැවින් නගර සභාවේ මුල් පුටුව ලබාගැනීමට උන්වහන්සේට විවිධ බාධා එල්ලවන්නට විය. එකදු අරක්කු බෝතලයක් හෝ සිගරට්ටුවක් නොමැතිව තම මැතිවරණය මෙහෙයවද්දී එම ගමන නතර කිරීමට උන්වහන්සේගේ කාර්යාලයේදී වෙඩිතබා අපවත්කරවීමට පවා ඇතමුන් වෑයම් කර ඇත. ප‍්‍රදේශයේ ජනතාව උන්වහන්සේට සභාපති ධූරය ලබාදීම සඳහා වීදි බැස උද්ඝෝෂනය කළහ. කෙසේ නමුත් අවසන් මොහොත දක්වාම අතිගරු ජනාධිපතිතුමන් කෙරෙහි විශ්වාසය තැබූ උන්වහන්සේ අවසානයේ බෝ අත්තේ ඉන්දරතන හිමියන් සමග මාරාන්තික උපවාසයක් ඇරඹීය. මේ සඳහා තවත් ඡුන්ද දායකයින් දෙදෙනෙකුද එක්විය. මාධ්‍ය මගින් මෙම කාරණය රටපුරා අනාවරණය වෙද්දී එදින සවස එම ස්ථානයට වැඩම කළ  ඕමල්පේ සෝභිත හිමියන් විසින් සභාපති ධූරය නියත වශයෙන්ම ඥානප‍්‍රභා හිමියන් වෙත ලබාදෙන බවට ස්ථිර කිරීමෙන් පසු තම මාරාන්තික උපවාසය අත් හැරීමට ඥාණප‍්‍රභා හිමියන් ඇතුළු කණ්ඩායම කටයුතු කර ඇත. මේ සඳහා අමාත්‍ය පාඨලී චම්පක රණවක මැතිතුමන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගේ දැඩි උත්සාහය හා සහයෝගය ද ලැබී ඇත.

    කෙසේ නමුත් අද වන විට වේවැල්දූවේ වැඩවාසය නොකලද උන්වහන්සේ අප ගමට විශාල කීර්තියක් ගෙනදීමට හේතුවී ඇත. මතු දිනෙක දේශපාලන දිවියේ උන්වහන්සේගේ නාමය දිදුලන සෑම මොහොතකම වේවැල්¥ව නාමයද දිදුලනු ඇත. එය අපට මහත්වූ ආඩම්බරයක් වනු නොවනුමානය.

    උන්වහන්සේගේ මෙම සුවිශේෂි වූ ජයග‍්‍රහණය වෙනුවෙන් උපහාර දැක්වීමට උන්වහන්සේ හැදී වැඩුණු ගමත් ඤාණවිමලාරාම විහරස්ථානයත් අමතක නොකළහ. අගෝස්තු මස 5 වන දින එ් සඳහා විශේෂ උත්සවයක් සංවිධානය වූයේ එනිසාවෙනි.

අගොස්තු මස 02 වන දින‘දිවයින’ පුවත්පතෙහි පළවූ ලිපියද ඇසුරෙනි