මොකක්ද මේ ප‍්‍රතිකාරාත්මක උපදේශනය

මෙවර මාසික වෛද්‍ය හමුවෙන් මා ඔබට හඳුන්වාදීමට අදහස් කරන්නේ ලොව අන් රට වල ප‍්‍රචලිත, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිත වෙමින් පවතින ප‍්‍රතිකාර ක‍්‍රමයක් වන ප‍්‍රතිකාරාත්මක උපදේශනය (Therapeutic Counselling) සම්බන්ධවයි. මෙම උපදේශනය, මනෝ විද්‍යාත්මක උපදේශනයේ එක්තරා ප‍්‍රභවයක් වන වන අතර, එමගින් සුවිශේෂී වෛද්‍ය විද්‍යාත්මක බලපෑමක් ඇති කරනු ලබයි.

    උපදේශනය සෞඛ්‍ය වර්ධන ක‍්‍රියාවලියක් වන අතර, එමගින් අයහපත් චිත්තාවේගී සාධක සමනය කර බොහෝමයක් රෝග සඳහා හේතුකාරකයක් වන මානසික ආතතිය (Stress) අඩු කෙරේ. එසේම, මේ මඟින් රෝග හේතුවෙන් හටගත හැකි ස්ථිර ජීවන වෙනස්වීම් සඳහා ධනාත්මකව මුහුණ දීමට රෝගීන් හට ශක්තියක් ලබාදෙයි.

    ප‍්‍රතිකාරාත්මක උපදේශනයේ ආරම්භය අතීත කාල වකවානු වෙත දිවයයි. හිපොක‍්‍රටීස් පවා තම රෝගීන් සුවපත් කරනු පිණිස මෙම උපදේශන ක‍්‍රමය යොදාගෙන ඇති බවට සාධක ඇත. එසේම මධ්‍යම ආසියාවේ සිටි සුප‍්‍රකට වෛද්‍ය වරයෙකු වන අවිසෙන්නා ද මෙම ක‍්‍රමවේදය යොදාගෙන ප‍්‍රතිකාර කර ඇත. එමෙන්ම, මෙහෙන්දජාරෝ හරප්පා  වැනි ශිෂ්ටාචාර වලදී ද පණ්ඩුකාභය රජ දවස සිට පැවත එන කොහොඹා කංකාරිය සහ තොවිල් ආදියෙහිද ප‍්‍රතිකාරාත්මක උපදේශන ක‍්‍රමවේදය යොදාගෙන තිබේ. වෛද්‍ය ප‍්‍රතිකාරයන්ට අමතරව රෝගීන්ට ප‍්‍රතිකාර කරණු පිණිස සංගීත මාධ්‍ය උපයෝගී කරගෙන ඔවුන්ගේ සුවය කඩිනම් වූ බව අප‍්‍රිකාවේ සිටි නොබෙල් සම්මාන ලාභී වෛද්‍ය ඇල්බට් ස්වයිට්සර් විසින් සිදුකළ පර්යේෂණ මඟින් සනාථ වී තිබේ. 

ප‍්‍රතිකාරාත්මක උපදේශනයේ වාසි කිහිපයක් මීළඟට අපි සැකෙවින් විමසා බලමු.
-    සෑම වෛද්‍ය අංශයකම ඹෟෂධ ප‍්‍රතිකාරයේ ගුණාත්මක බව සහ සුව වීමේ වේගවත් ක‍්‍රම මෙමඟින්  සැලසේ.
-    ඹෟෂධ ප‍්‍රතිකාර යොදගෙත නොහැකි රෝගීන් සඳහා මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය යොදාගත හැකිය. නිදසුනක් වශයෙන් අසාමාන්‍ය චරියාවන් පෙන්වන, ඖෂධ ප‍්‍රතිකාර ලබාගත නොහැකි රෝගීන් දැක්විය හැකිය.
-     මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයෙහි සංකූලතා නොමැත. එබැවින්, ළමා, මහළු, මෙන්ම කායික, ශල්‍ය වැනි  ඕනෑම රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකුට යොදාගත හැකිය.
-    අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග සඳහා ප‍්‍රධාන හේතු කාරකයක් වන මානසික ආතතිය ඉහිල් කිරීම පිණිස ප‍්‍රතිකාරාත්මක උපදේශනය කළ හැකිය.
-    මේ සඳහා විශාල වියදමක් වැය නොවේ. එසේම මිලාධික උපකරණද අවශ්‍ය නොවේ.
-    මෙම උපදේශනය සඳහා වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහායකයින් පුහුණු කිරීම සඳහා ද විශාල වියදමක් අවැසි නොවේ.

    සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් පළමු තැන ගන්නා අප රටේ, දිවි නසා ගැනීමේ අරමුණින් දරන අසාර්ථ ප‍්‍රතිඵල වශයෙන් රෝගාතුර වන රෝගීන්ට, රෝහල් වහලය යටදීම (ග‍්‍රාමීය, දිස්ත‍්‍රික්, මූලික හෝ  ශික්‍ෂණ රෝහල්) මෙවන් උපදේශන සේවාවක් පවත්වාගැනීම ම`ගින් බාහිර රෝගී අංශය සඳහා වන ඖෂධ වියදම 40% කින් පමණ අඩුකරගත හැකිය.

වෛද්‍ය පවන් කරුණාරත්න
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල - රාගම
වෛද්‍යමධ්‍යස්ථානය - 154, වේවැල්දූව, කැලණිය.