අම්මේ නුඹ මතු භවයේ බුදු වන්න...

ලේ කිරි කර පොවා මා හැදු වැඩු            අම්මේ
උකුලේ හොවා මා නිදිකෙරු මගේ         අම්මේ
බත් ගුලි කර කවා මා ලොකු කෙරු        අම්මේ
ඔබෙ පා යුග වඳිමි මා ආදර                    අම්මේ

හොඳ දේ නරක දේ මා හට              පෙන්නාලා
හෙට ලොව ජයගන්න ඔවදන් මට              දීලා
ලොකු මිනිසෙකු කළේ ආලෝකය             දීලා
අම්මේ නුඹයි නිරතුරු මා ළඟ                   රැඳිලා

පුංචි කාලේ නුඹ මා තුරුලේ            හොවාගෙන
කීයූ කතන්දර මට අද තව                       මතකයි
ලෙඩක් සැදුනු විට මා නුඹෙ                   තුරුලේ
උණුසුම් වූ හැටි අද මෙන් මට                මතකයි

ජීවිතයේ ආලෝකය නුඹමයි                 අම්මේ
ජීවය පොවන මහ සයුරයි නුඹ                අම්මේ
ඝණ අඳුරේ පහන් වැටයි මගෙ               අම්මේ
ඔබ නැතිදා මට පාළුයි මගේ                  අම්මේ

ගෙදර බුදුන් කියලා බුදු  හිමි                 දෙසුවේ
ආදරයේ උල්පත යැයි කවි                      ලිවුවේ
නුඹ වැනි අම්මලාටයි මේ ලෝ                සසරේ
මතු බුදු වෙන්න පතනව මගේ සුදු           අම්මේ
                                             
                                     පියුමි නුවන්තිකා සමරවීර