ප‍්‍රධානාචාර්ය හිමියන්ගේ සුභ පැතුම.

    මිනිසා යනු සමාජගත සත්වයෙකි. එබැවින් ඔහු හෝ ඇයගේ මානසික, කායික හා වාචසික ක‍්‍රියාකාරිත්වය සමස්ත සමාජය කෙරෙහිම යම් බලපෑමක් සිදුකරයි. සංස්කෘතික සහ නෛතික පරිසරයන් තුළින් පුද්ගලයා විනයගරුක අයෙකු කිරීමට සෑම සමාජයක්ම උත්සාහ දරන්නේ එනිසා ය. 

    නැණ නුවණින් මෙන්ම ගුණ නුවණින් ද පිරිපුන් මිනිසා ඒ සමාජය තුළ තමාගේ දිවි මග අරුත්බර කර ගනියි. එමෙන්ම සමාජගත ජීවිතයේ දී ද මෙරමාගේ යහපත උදෙසා යමක් කිරීමට වෙහෙසෙති. 


    එවන් ගුණ-නැණ සපිරි මිනිසෙකු නිර්මාණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ ළමා ලෝකය සාරවත් වූ පමණට ය. නිසරු වූ ළමා ලෝකයක් ඇති අයෙකුගෙන් තමාගේ මෙන්ම මෙරමාගේ යහපත උදෙසා ද ප‍්‍රායෝගික මෙහෙවරක් අපේක්‍ෂා කළ නොහැකි ය. 


‘    අප සංස්කෘතියේ ළමා පදනම වඩාත් අරුත්බර කළ හැකි ප‍්‍රධානතම ආයතනය වන්නේ ‘දහම් පාසැලය’ යනු මාගේ හැඟීමයි. එනිසා දහම් ගුරු-සිසු දෙපිරිස අතරින් මතුවන යහපත් සංකල්ප ප‍්‍රායෝගික කිරීමට මාගේ ආශීර්වාදය නිරතුරුව හිමි වෙයි. දිරි දීම ද එසේම සිදු වෙයි.


    අප විහාරස්ථ සුචරිතෝදය දහම් පාසැලෙන් සිදු කෙරෙන තවත් එක් ප‍්‍රජා සත්කාරයක් ලෙස එළි දකින ”වේවැල්දූව” නම් මාසික ප‍්‍රකාශනයේ මංගල කලාපයට මේ ආශීර්වාද සටහන තබන්නේ ද ඉහත දැක් වූ සියලූ කරුණු සිත් හි තබාගෙනය. 


    එකී මුද්‍රිත සන්නිවේදන මෙහෙවර වෙනුවෙන් ප‍්‍රායෝගික වන ගුරු සිසු දෙපිරිසටම, සිය බසින් සාරවත් යමක් ගෙත්තම් කරන්නට තෙරුවන් ගුණ බෙලෙන් ශක්තිය ලැබේවා !

මොරවක සෝරත නායක ස්ථවිර
ප‍්‍රධානාචාර්ය